ශ්‍රී ලංකාව තුල මුං වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීම
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන්
වැඩි පිරිසක් ග්‍රාමීය අංශය නියෝජනය කරන අතර ඔවුන්ගෙන් බහුතරය තම ජීවනෝපාය බවට
කෘෂිකර්මාන්තයේ නියැලී සිටියි. පසු ගිය කාලය පුරා බලයට පත් විවිධ රජයන් විසින්
තම සංවර්ධන න්‍යාය පත්‍රයන් තුලින් කෘෂිකර්මාන්තය සහ
එහි තිරසර සංවර්ධනය කෙරෙහි වැඩි අවදානයක් යොමු කර ඇත. එම ප්‍රතිපත්තීන් විශ්ලේෂණය
කර බැලීමේදී අතිරේක ආහාර බෝග වගාව කෙරෙහි වැඩි අවදානයක් යොමු කර ඇති බව පැහැදිලි
වේ. ඒ අතුරින් රනිල කුලයට අයත් මුං බෝගය සුවිශේෂී
ස්ථානයක් හිමි කර ගනියි.
2005 වර්ෂයේ ක්‍රියාත්මක
කල මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති රාමුව හරහා රට තුල දේශීය අතිරේක ආහාර
භෝග නිෂ්පාදනය ඉහල නංවමින් ස්වයංපෝෂිත වට්ටමක් කරා ලඟා වීමට අවශ්‍ය මුලික පියවර
පුළුල් පරාසයකින් ආරම්භ කරන ලදී. 2007 දී දියත් කරන කරන ලද “අපි වවමු රට
නගමු” ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාව ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත
කිරීම සඳහා ගෙවතුවල වගා කිරීම ආරම්භ කරන ලදී. http://www.asiantribune.com/sites/asiantribune.com/files/Mahinda_Chinthana.pdf.
මෙමගින් ඉපැරණි සාම්ප්‍රදායයන්
යළි පන ගන්වමින් පවුල්වල ආහාර සුරක්ෂිතභාවය වැඩි දියණු කොට පෝෂ්‍යදායී ආහාර අනුභව
කිරීමට ජනතාව යොමුකිරිම ප්‍රධාන පරමාර්ථය විය. ඒ යටතේ විවිධ ආහාර භෝග නිෂ්පාදනය ප්‍රවර්ධනය
කල අතර විශේෂයෙන් මෙම සංවර්ධන ප්‍රතිපත්ති රාමුව තුල 2015 වර්ෂය වන විට ශ්‍රී
ලංකාවේ වාර්ෂික මුං නිෂ්පාදනය මෙට්‍රික්
ටොන් 45,170 දක්වා ඉහල නැංවීමටත් වාර්ෂික අපනය ප්‍රමානට මෙට්‍රික් ටොන් 200කින්
පහල දැමීමටත් සැලසුම් කර තිබුණි. ඒ අනුව තුන් වන කන්නයේ මුං වගාව කෙරෙහි අවදානය යොමු කොට ඇත (https://www.youtube.com/watch?v=u_M2DPjecy4).
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය අපි වවමු රට නගමු වැඩසටහන සමඟ
එකතුවී අතිරේක බෝගවල දේශීය බීජ නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා කටයුතු කර ඇත. එහිදී
2007 වර්ෂයේ සිට ඉදිරි මාස් කන්න පහක් යනතුරු ඌව පළාතේ බදුල්ල සහ මොනරාගල යන
දිස්ත්‍රික්ක දෙකෙහි තෝරා ගත් ගොවීන් හට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කරන
දේශීය බීජ නොමිලේ බෙදා දෙමින් කොම්පෝස්ට් පොහොර භාවිතා කර ඒවා වගා කිරීමට අවශ්‍ය
උපදේස් සම්පාදනය කිරීම සිදු කරන ලදී. මේ හරහා ගොවීන්ට පුළුල් ප්‍රතිලාභ අත්විය
(සුසිලා). මෙම වැඩසටහනේ පරමාර්ථය වුයේ අතිරේක ආහාර බෝග දේශීය බීජ වගාව ගොවින් අතර
සුලභ කිරීමයි.
අපි වවමු රට නගමු විශේෂ කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන
යටතේ අතිරේක ආහාර බෝග නිෂ්පාදනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක විය. ඒ යටතේ මිරිස්, ලොකු ළූණු, රතු ළූණු, සෝයා බෝංචි, රට කජු, මුං ඇට, උඳු, තල, බඩ ඉරිඟු, කවුපි, කුරක්කන් යන අතිරේක බෝග 11 ප්‍රවර්ධනය කිරීම සඳහා සැලසුම් කරන ලදී. එහිදී, මෙම
බෝග වගා කරන ගොවින් උනන්දු කරවීම සහ ගුණාත්මයෙන් ඉහල බීජ සැපයීම වැනි පහසුකම්
සැපයීම මගින් අපනයන මට්ටම දක්වා නිෂ්පාදනය ඉහල නැංවීම අරමුණ විය. එසේම 2014 වර්ෂය
තුල ක්‍රියාත්මක වූ ආහාර සුරක්ෂිතතාවය සඳහා වූ විශේෂ වැඩසටහන යටතේ අතිරේක ආහාර බෝග
ප්‍රවර්ධන වැඩසටහන රුපියල් මිලියන 300 ක ප්‍රතිපාදනයක් යටතේ ක්‍රියාත්මක කරන ලදී. ඒ හරහා 2016 වර්ෂය වන විට අතිරේක ආහාර බෝග වලින් රට
ස්වයංපෝෂිත කිරීමට බලාපොරොත්තු විය. එම වැඩසටහන යටතේ 2014 වර්ෂය අවසාන වන විට හෙක්ටයාර
402ක භුමි ප්‍රමාණයක මුං වගාව සිදු කිරීමට හැකි
විය. මුං වගාව වඩාත් සාර්ථක ලෙස
සිදු කිරීමට බලපාන ප්‍රධානතම සාධයන්ගෙන් එකක් වනුයේ ගුණාත්මක බීජ අවශ්‍යතාවයයි. එය
මුලික කර ගනිමින් 2014 වර්ෂයේදී මහා කන්නයේ වගා කිරීම සඳහා මුං බීජ කිලෝ ග්‍රෑම්
170,780 ද යල කන්නය සඳහා කිලෝ ග්‍රෑම් 29,738 ද නිෂ්පාදනය කර බෙදා හරින ලදී.
මුං වගා කිරීම
යාන්ත්‍රිකරණය කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් වගා ආදර්ශන පිහිටුවීම
තුලින් ගොවින් දැනුවත් කිරීම මෙන්ම පස සහ භුමිය සංවර්ධනය කිරීම සම්බන්ධව පුහුණු
කිරීම 2015 වර්ෂයේ අතිරේක ආහාර බෝග ප්‍රවර්ධන විශේෂ වැඩසටහන යටතේ සිදු කරන ලදී.
මෙය එම වසරේ ආහාර සුරක්ෂිතතාවය සඳහා වූ විශේෂ සංවර්ධන වැඩසටහන පාදක කරගනිමින් ක්‍රියාත්මක විය. එහිදීද මුලික
අරමුණ වුයේ දේශීය වශයෙන් අතිරේක ආහාර නිෂ්පාදනය ඉහල නැංවීම තුලින් ආනයනය සිමා
කිරීමයි.
ආහාර නිෂ්පාදන
ජාතික වැඩසටහන 2016-2018 හරහා ශ්‍රී ලංකාවේ මුං වගාව ප්‍රවර්ධනය කිරීම
සඳහා විශාල දායකත්වයක් ලබා දීමට හැකි විය. මේ යටතේ 2016 වර්ෂයේදී හෙක්ටයාර 800 ක
භුමි ප්‍රමාණයක අළුතින් මුං වගාව සිදු
කිරීම සඳහා බීජ සම්පාදනය කිරීම, මුං ගම්මාන පහක් ස්ථාපනය
කිරීම, වගා ආදර්ශන 142 සම්පුර්ණ කිරීම සඳහා බීජ සම්පාදනය කිරීම, පුහුණු වැඩසටහන්
ක්‍රියාත්මක කිරීම මගින් ගොවින් දැනුවත් කිරීම සහ නිෂ්පාදනය කල බීජ ආරක්ෂිතව ගබඩා
කිරීම සඳහා ස්ථර තුනක් සහිත මලු සම්පාදන කිරීම සිදු කරන ලදී. එසේම එම වර්ෂයේදී නව
දේශීය මුං බීජ විශේෂයක් වන MI-7
නිෂ්පාදනය කල අතර එහි සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 1.5 පමණ වන අතර පළමු අස්වැන්නෙන්ම
80% ක පලදාවක් ලබාගත හැකිය.
2017 වර්ෂය වන විට තවදුරටත් මුං නිෂ්පාදන වැඩි කිරීම
සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර පෙර වර්ෂයන් වලදී ක්‍රියාත්මක කල ක්‍රමෝපායන්ද ඇතුලත්ව
නව ක්‍රියා මාර්ග ඒ සඳහා අන්තර්ගත කරන ලදී. මුං වගාව යාන්ත්‍රිකරණය
ප්‍රවර්ධනය කිරීම සඳහා යන්ත්‍ර සුත්‍ර සහ උපකරණ නොමිලේ ගොවීන්ට ලබා දීම, තාක්ෂණික
කට්ටල සහ සුදුසු ගබඩා කටයුතු සම්බන්ධ පුහුණු කිරීම් හා සහතික කල බීජ නොමිලේ ලබා
දීම වැනි ක්‍රියාකාරකම් සිදු කර ඇත. එසේම යෙදවුම් කළමනාකරණය යටතේ ගොවිපොළ යාන්ත්‍රිකරණය
යන ව්‍යාපෘතිය ඔස්සේ මුං වගාව සංවර්ධනය කිරීම
සඳහා විවිධ යන්ත්‍ර සහ උපකරණ බෙදා දීම සිදු කරන ලදී (power tiller attached seeder/ Grain polishing &
splitting machines).
ආහාර සුරක්ෂිතතාවය සහ දිළිඳුකම තුරන් කිරීම සඳහා අමතර
බෝග වගාවක් ලෙස මුං වගාව යන කෙටි කාලින වැඩසටහන ඔස්සේ 2017 වර්ෂයේදී රුපියල්
මිලියන 6.64ක මුල්‍ය පිරිවැයක් යොදා ගනිමින් අම්බලන්තොට සහ හම්බන්තොට දිස්ත්‍රක්කයන්ගේ මුං වගාව ප්‍රවර්ධනය කරන ලදී. මෙහිදී එම ප්‍රදේශවල ගොවි
සංවිධාන 28ක් නියෝජනය කරමින් ගොවින් 1637 තෝරා ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කරන
ලදී. මෙහි විශේෂත්වය වනුයේ තෝරාගත් අදාළ ගොවින් වගා භුමියේ පැළ ඝනත්වය නියම ප්‍රමිතීන්ට
අනුව පවත්වාගෙන වගාව නිසි පරිදි සිදුකරගෙන යන්නේ නම් ඔවුන් හට රුපියල් 2500ක
සහනාධාර දීමනාවක් පිරිනැමීමයි. මෙයට අමතරව බීජ මිලදී ගැනීම සඳහා අදාළ ආයතන හරහා
වෙළඳපොල සම්බන්ධතා පහුකම් සැපයීම සිදු කරන ලදී.
තුන්වන සහ හතර වන කන්නයන්ගේ මුං කවුපි වගාවේ ඵලදායිතාවය ඉහල නැංවීම යන
වැඩසටහන 2018 වර්ෂයේදී ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනක් යටතේ කෘෂිකර්ම
දෙපාර්තමේන්තුව මුලික කොට ගනිමින් ක්‍රියාත්මක විය. මේ යටතේ දිස්ත්‍රික්ක 18ක ගොවි
පවුල් 5000 කට නොමිලේ බීජ බෙදා හරිමින් පහසුකම් සපයා දෙන ලදී.
2020 වර්ෂයේදීද ශ්‍රී ලංකාවේ අතිරේක ආහාර භෝග වගාව ප්‍රවර්ධනය
කර ඒවායේ නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා රජය විසින් කඩිනම් මධ්‍යකාලීන ආහාර නිෂ්පාදන
ජාතික වැඩසටහන ක්‍රියාත්මක ලරන ලදී. ඒ යටතේ ආහාර භෝග 16ක නිෂ්පාදනය ඉහල නැංවීමට සැලසුම්
කර ඇති අතර මුං භෝගය ඉන් එකක් වේ. සෞභාග්‍යා ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව
2020 අප්‍රේල් මස ආරම්භ කරන ලද මෙම වැඩසටහන ඔස්සේ ගොවීන්ට බීජ ලබා දීම, වගා හානි
සඳහා රක්ෂණ ලබා දීම, වෙළඳපොල පහසුකම් සලසා දීම වැනි අරමුණු ඉටුකර ගැනීමට
බලාපොරොත්තු වේ.
සමස්තයක් ලෙස බලන කල විවිධ රජයන් විසින් මුං වගාවේ
නිෂ්පාදනය හා ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවරයන් පහත ආකාරයට සාරාංශගත කල
හැකිය.
·
බීජ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
·
බීජ ගබඩා පහසුකම් සංවර්ධනය කිරීම
·
මුං බෝගය ආනයනය සීමා කිරීම
·
මුං බෝගය අපනයනය ඉහළ නැංවීම
·
අගය එකතු කළ නිෂ්පාදන හඳුන්වා දීම
·
වගා ප්‍රවර්ධන වැඩසටහන් හා ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක
කිරීම
කෙසේ හෝ පසුගිය කාල සීමාවන් දෙස බලන කල ගම්‍ය වන්නේ රටේ දේශීය ආහාර භෝග නිෂ්පාදය කෙරෙහි පැවති සියලු රජයන් ඔවුන්ගේ ප්‍රතිපත්ති රමුන් තුල වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. වාර්ෂිකව අතිරේක ආහාර බෝග ආනයනය කිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වන අතර එය සිමා කිරීම සඳහා දේශීය වශයෙන් සාර්ථකව වගා කල හැකි බෝග හැකි පමණ වගා කිරීමට ජනතාව පෙළඹවීම මෙම ප්‍රතිපත්ති හරහා සිදු කර ඇත. එහිදී ආනයනය සඳහා දැරීමට වන පිරිවැය කෘෂිකර්මාන්තය දියුණු කිරීමට යොදා ගැනීම සහ එමගින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන ඇත. එහෙත් වර්තමානය වන විටත් රටේ සමස්ත මුං අවශ්‍යතාවය සපුරාලීම සඳහා දේශීය නිෂ්පාදනය ප්‍රමාණවත් නොමැති අතර තවදුරටත් ඒවා ආනයනය කිරීමට සිදු වී ඇත. එසේනම් වාර්ෂිකව විශාල පිරිවැයක් දරමින් මුං භෝගය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ රජයන් දරන මේ ප්‍රයත්නයන් තුලින් සාර්ථක ප්‍රතිපල අත්වී නොමැතිද යන්න ප්‍රශ්නාර්ථයකි? එසේත් නොමැති නම් ඒ සඳහා බලපා ඇති වෙනත් කරුණු මොනවාද යන්න සොයා බලා ඒ සඳහා කඩිනම් විසඳුම් වෙත යොමු වීම වැදගත් වේ.
0 comments:
Post a Comment