Featured Post

මුං ශාකයේ විවිධ භාවිතයන්

  මුං ශාකයේ විවිධ භාවිතයන් 1. ආහාර ද්‍රව්‍යක් ලෙස ( මුං ඇට) පරිභෝජනය කිරීම  1.1 ශ්‍රී ලාංකිකයින් විසින් මුං බීජ ආහාරයක් ලෙස පරිභිජනය කරන ආ...

Pages

Thursday, November 5, 2020

මුං ශාකයේ විවිධ භාවිතයන්

 

මුං ශාකයේ විවිධ භාවිතයන්

1. ආහාර ද්‍රව්‍යක් ලෙස (මුං ඇට) පරිභෝජනය කිරීම 

1.1 ශ්‍රී ලාංකිකයින් විසින් මුං බීජ ආහාරයක් ලෙස පරිභිජනය කරන ආකාරය 

ගෝලීය වශයෙන් මුං පරිභෝජනය කරන ප්‍රධාන ක්‍රම හතරක් පවතින අතර වියලි ධාන්‍යක් ලෙස භාවිතා කිරීම ඉන් ප්‍රමුඛතම ආකාරය වේ. ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ද ප්‍රධාන වශයෙන්ම මුං ධාන්‍යක් ලෙස තම්බා හෝ ව්‍යාංජනයක් ලෙස සකස් කොට පරිභෝජනය කරනු ලැබේ. එකම රටේ වුවද විවිධ ජන වර්ගය අනුවද (සිංහල, දමිල සහ මුස්ලිම්) මුං  පරිභෝජනය කරන ආකාරයේ විවිධත්වයක් පවතී.

තම්බා ගත් මුං ඇට

මුං ඇට ව්‍යංජනය

  










නොයෙකුත් රස කැවිලි සාදා ගැනීමේදී (මුං ගුලි, මුං  කැවුම්, මුං  කිරිබත්) අමුද්‍රවයක් ලෙසද මුං ශ්‍රී ලංකාව තුල ඉතා ප්‍රචලිතය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් උත්සවල අවස්ථාවලදී (සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, තෛපොංගල්) විවිධ ආහාර වර්ග සකස්කර ගැනීමට මුං අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍යක් ලෙස භාවිතා වේ.

මුං ඇට කිරි බත්

මුං කැවුම් 

මුං ගුලි

තවද ප්‍රරෝහණය වූ මුං බීජ ආහාරයට ගැනීම වර්තමානය වන විට ලොව පුරා ඉතා ප්‍රචලිත වී ඇත. සාමාන්‍ය මුං ඇටවලට වඩා වැඩි පෝෂණ ප්‍රමාණයක් ප්‍රරෝහණ වූ මුං බීජ වල අන්තර්ගත වේ. විශේෂයෙන් ළදරුවන්ට සහ කුඩා දරුවන්ට ලබා දීමට වඩාත් සුදුසු ආහාරයක් ලෙස ප්‍රරෝහණය වූ මුං බීජ යොදා ගනු ලැබේ.

ප්‍රරෝහණය වූ මුං බීජ සාදා ගැනීමේදී ඒවා දිනක් පමණ හොඳින් ජලයේ පොඟවා තෙත රෙදි කැබැල්ලක ඔතා අඳුරු ස්ථානයක දින 3-4 තබා ගනු ලැබේ. ඒ අතරතුර වරින් වර දිනකට දෙවරක් පමණ ජලය යොදා බීජතෙත් කර දනු ලැබේ (https://www.youtube.com/watch?v=bGvNncv0JUI). මෙසේ සාදා ගන්නා ලද මුං බීජ යොදා සලාද, ව්‍යාංජන, බැදුම්, වෙනත් ආහාර සදා ගැනීමේදී පිරවුමක් හෝ කෑම අලංකාර ගැනීම වැනි විවිධ ආකාරයේ භාවිතාවන් සිදු කරනු ලැබේ.     


ප්‍රරෝහණය වූ මුං බීජ ව්‍යංජනය




ප්‍රරෝහණය වූ මුං බීජ


ප්‍රරෝහණය වූ මුං බීජ සලාදය


 1.2 ලෝකයේ අනෙකුත් රටවල මුං පරිභෝජනය කරන ආකාරය 

මුං ඇට මිශ්‍ර බත් කැඳ

මුං ඇට තොසේ (pesarattu)


ඉන්දියානු මහද්වීපික කලාපයේ ජිවත් වන පිරිස විසින් සම්පුර්ණ ධාන්‍යක් ලෙස, බිජාවරණය ඉවත් කර සම්පුර්ණ ධාන්‍යක් ලෙස, බීජාවරණය ඉවත් කර බීජය දෙකට වෙන් කර සහ බීජ අඹරා පිටි ලෙස ප්‍රධාන ආකාර හතරකට මුං සකසා ආහාරයට ගනු ලැබේ. සම්පුර්ණ ධාන්‍ය ලෙස ආහාරයට ගැනීමේදී ඇට මෘදු වන තෙක් හොඳින් තම්බා පිටත බිජාවරණය සමගම ආහාරයට ගනු ලැබේ. ඇතැම් විට මෙසේ තම්බා ගත් මුං ඇට සමඟ හොඳින් ගා ගත් පොල් සහ කුළු බදු මිශ්‍ර කර “ pesalu” යන විශේෂ ආහාරය සකසා අනුභව කරනු ලැබේ. මුං ඇට දෙකට වෙන්  කර පරිප්පු ලෙස සකසාද ආහාරයට ගැනීම සිදු කරනු ලැබේ. එසේම මුං පිටි යොදා සාදා ගන්නා තලප භාවිතා කර සාදා ගන්නා “ Pesarattu ලෙස හඳුන්වන තොසේ විශේෂය අන්ද්‍රා ප්‍රදේශයේ  ඉතා ප්‍රකට ආහාර විශේෂයකි.
   

නැගෙනහිර ආසියානු කලාපයේ විශේෂයෙන් චීන සහ කොරියානු ජාතිකයින් සම්පුර්ණ මුං ඇට භාවිතා කරනුයේ  විවිධ ආකාරයේ රසවත් අතුරුපස සකස් කර ගැනීම සඳහාය. එසේම මුං ඇටවලින් සාදා ගන්න glass නුඩ්ල්ස් හෝ vermicelli ලෙස හඳුන්වන නුඩ්ල්ස් විශේෂය චීනයේ ඉතා ප්‍රසිද්ධ නුඩ්ල්ස් විශේෂයකි. එසේම බිජවරණය ඉවත් කරන ලද මුං ඇටවලින් සාදා ගන්නා තලප යොදා විවිධ අයිස් ක්‍රීම් වර්ග සාදා ගැනීම හොන්කොන් රාජ්‍යයේ ඉතා ප්‍රකටය. එසේම කොරියානු ජාතිකයින් බිජාවරණය ඉවත් කල මුං ඇට ජලයේ පොඟවා පසුව එය හොඳින් අඹරා තලප ලෙස සකස් කොට පෑන් කේක් (Pancake) සාදා ගැනීමට භාවිතා කරයි. තවද චීන සහ තායිවාන් ජාතිකයින් කේක් විශේෂයක් වන “ mooncake” සාදා ගැනීම සඳහා මුං ඇට තලප භාවිතා කරන අතර මුං ඇට යොදා බිම වර්ගද සාදා ගනු ලැබේ.

මුං ඇට පානය 


මුං ඇට යොදා සාදා ගත් Mooncake

මුං ඇට යොදා සාදා ගත් අයිස් ක්‍රීම්







මුං ඇට glass නුඩ්ල්ස්




























ගිනිකොනදිග ආසියානු කලාපයේ රටවල් විශේෂයෙන් පිලිපීනය වැනි රටවල් සම්පුර්ණ ධාන්‍ය ලෙස මුං ඇට අනුභව කරනු ලැබේ. එහිදී, මාළු හෝ ඉස්සන් යොදා ගනිමින් එය තවත් රසවත් කර ගනු ලැබේ. ඉන්දුනීසියානු ජාතිකයින් මුං ඇට සීනි, පොල්කිරි සහ ඉඟුරු ස්වල්පයක් සමඟ හොඳින් පිස කැඳ වර්ග සකස් කර ගනු ලැබේ. තවද මුං ඇට තලප යොදා ගනිමින් නොයෙකුත් ආකාරයේ “pastries” සහ අතුරුපස සකස් කරනු ලැබේ.

වගු අංක:1 පරිභෝජනය කරන ආකාරය අනුව මුං ග්‍රෑම් 100ක අන්තර්ගත පෝෂණ සංඝටක ප්‍රමාණය  

පෝෂ්‍ය ද්‍රව්‍ය

අමු මුං බීජ

මුං පිටි

මුං නුඩ්ල්ස්

ප්‍රරෝහිත මුං බීජ

වියලි මුං බීජ

ශක්තිය (කි.කැ)

306

361.5

381.0

61.0

116.0

ප්‍රෝටීන් (ග්‍රෑ.)

20.3

24.5

0.3

6.6

7.7

විටමින් A (RE)

5.0

6.0

0.0

1.0

2.0

විටමින් C (මී.ග්‍රෑ)

0.0

0.0

0.0

8.0

0.0

යකඩ (මි.ග්‍රෑ)

6.6

6.4

0.5

1.1

2.5

සින්ක් (මි.ග්‍රෑ)

3.4

3.7

0.1

0.6

1.3

ෆොලේට් (මයික්‍රො ග්‍රෑම්)

549.0

499.5

0.0

86.0

208.0

ඇමයිනෝ ඇසිඩ් (ග්‍රෑ.)

10.2

12.0

0.1

3.1

3.9

ලයිසින් (ග්‍රෑ.)

1.6

1.9

0.0

0.5

0.6

  මුලාශ්‍රය: Calloway et al, 1994 in Other Field Crops in Sri Lanka: Present Status, Economic Importance and Challenges (2012)      

2 ඖෂධයක් ලෙස භාවිතා කිරීම

මුං ශාකය තුල අන්තර්ගතව ඉතා විශිෂ්ඨ රෝග චිකිත්සක ගුණයන් පවතී. එබැවින් දේශීය වෛද්‍ය විද්‍යාවේදී මෙහි ශාක කොටස් නොයෙකුත් ආකාරයට භාවිතා කරනු ලැබේ. විශේෂයෙන් මුං බීජ සහ ප්‍රරෝහිත මුං බීජවල ඉතා ඉහල මට්ටමින් ෆිනොල් සහ ෆ්ලෙවනොයිඩ් සංඝටක අන්තර්ගත බැවින් රෝග නිවාරණය සඳහා ඉතා වැදගත් වේ. 

මුං ඇට තරමක කෙඳි සහිත ආහාරයක් බැවින් කෑම දිරවීමේ අපහසුතාවන් මග හැරවීම සඳහා මෙය භාවිතා කරයි. එසේම මුං ඇටවල ඇඟ සිසිස් කිරීමේ ගුණයක් පවතින බැවින් අස් දැවිල්ල, ඇස්වලින් කඳුළු ගැලීම වැනි තත්වවලදී මුං ඇට යොදා ප්‍රතිකාර කරනු ලැබේ. තවද මුත‍්‍රා හොඳින් පිට කිරීමට උදව්වන හොඳ මුත‍්‍රකාරක ඖෂධිය ගණයක් මුං ඇටවල පවතී. ශරීරයේ ඇති ලප කැළැල් මකා දැමීමට මුං ඇට ඉතාම ගුණදායක ඖෂධයක් ලෙස භාවිතා කල හැකිය. කුෂ්ඨ රෝගවල කැසීමේ තත්ත්වය පහ කිරීම සඳහා මුං ඇටවලින් හොඳ ඖෂධීය ආලේපයක් සාදා භාවිතා කල හැකිය.

 

3 රුපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගැනීම

මුං ඇටවලින් සාදා ගන්නා ලද මුං කුඩු තරමක් රළු ස්වභාවයකින්යුක්ත නිසා එය සමේ ඇති මැරුණු සෛල, කුණු සහ දුහුවිලි ඉවත් කිරීමට රුපලාවන්‍ය කටයුතුවලදී භාවිතා කරනු ලැබේ. මේ නිසා මුහුණේ හෝ සමේ ඇති අලුත් සෛල පිටතට විවෘත්ත වී නැවුම් පෙනුමක් ලබා දෙයි.

එසේම සමෙන් පිටවන තාපය සහ විෂ ද්‍රව්‍ය ඉවත් කරමින් තුවාල, කුරුලෑ, වර්ණක, ලප කැළැල් සහ අඳුරු පැල්ලම් ඉවත් කර පිරිසිදු නිකැළැල් සමක් ලබා දීමට මුං ඇටවලින් සාදා ගන්නා විවිධ ආලේපන භාවිතා කරනු ලැබේ.

මුං ඇට සතුව සෛල නැවුම් සහ ප්‍රභෝධමත් කරන එන්සිම සහ විටමින් අන්තර්ගත බැවින් සම විජලනය වීමෙන් වලක්වා සමේ ස්වභාවික තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉතාමත් මෘදු, සිනිදු සහ සුනම්‍ය සමක් අතපත් කර ගැනීමට අවස්ථාව උදා වේ. 

තවද සමේ සෛල විටමින් A සහ C සමඟ එකට එකතු කිරීමේ ගුණාංගයන් මුං ඇට සතුව පවතින බැවින් සම දීප්තිමත් කර අඳුරු ස්වභාවය ඉවත් කරනු ලැබේ. මුං ඇට සතුව පවතින තවත් ඉතා වැදගත් ගුණයක් වනුයේ, හිරුගෙන් පැමිණෙන අහිතකර UV කිරණවලින් සම ආරක්ෂා කිරීමේ හැකියාවයි. එපමණක් නොව UV කිරණ නිසා සමේ ඇති වී පවතින දුඹුරු වර්ණයන් ඉවත් කර සමට ස්වභාවික දීප්තියක් ලබා දෙයි.

මුං ඇට තුල ෆයිටෝඊස්ට්‍රජන් නමැති එන්සිමය අඩංගු බැවින් එම එන්සිමය හරහා සමේ ඇති කොලජන් සහ ඊස්ට්‍රජන් නිෂ්පාදනය උත්තේජනය කරයි. මෙම සංඝටක දෙක සමේ නිරෝගිභාවය සහ තරුණභාවය දිගු කාලයක් පවත්වා ගැනීමට උපකාරී වේ. එබැවින් මුං ඇට සෛල වයස්ගත වීම වලක්වන ස්වභාවික විසඳුමක් ලෙස වැදගත් වේ (https://www.youtube.com/watch?v=ugfhokL1VPU ).  


4 සත්ත්ව ආහාර සහ කාබනික පොහොර ලෙස භාවිතා කිරීම

ඇතැම් රටවල (ඊජිප්තුව) මුං වගාව සත්ත්ව ආහාර සඳහා පමණක් වගා කරනු ලබන අතර ඇතැම් රටවල මුං භෝගයේ අවශේෂ සත්ත්ව ආහාර සඳහා යොදා ගනියි. නමුත් ශ්‍රී ලංකාව තුල මෙය එතරම් ප්‍රචලිත නැත. කෙසේ වෙතත් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසකින් මුං ශාකය සමන්විත වේ. තවද මුං භෝගය පසේ කාබනික සංඝටක ප්‍රමාණය ඉහල දැමීමට වැදගත් වන කාබනික පොහොරක් ලෙසද භාවිතා කරනු ලැබේ.